Tuesday, February 21, 2012

කූඩු

" රජයේ අඩුපාඩුවක් දැකලා කතා කරොත් UNP කාරයා කියාලා බණිනවා. රජයේ පැත්තට කතා කලොත් මහා රජාගේ එකෙක් කියලා බණිනවා. මෙහෙම වෙන්නේ ඇයි..?"

ඉහත දැක්වෙන්නේ සමන් වික්‍රමනායක කියා මහත්තයෙක් මුහුණු පොතේ අහපු ප්‍රශ්නයක්. ඇත්තටම මේක දැක්කම මට හිතුනේ ප්‍රශ්නේ මුල මීට වඩා ගැඹුරුයි කියා.

මිනිසුන්, විශේෂයෙන් අපේ රටේ මිනිසුන් ජීවත් වෙන්න ආසා කූඩු ඇතුලේ. කුඩා කාල වල ඉඳල ම විවිධ හැගීම වලට වහල් වෙලා අපි "අයිති වෙන තැන" තීරනය කරගෙන ඉන්නේ. ආගම ජනවර්ගය උපන් පළාත උප සංස්කෘතිය ආදී ලෙස තමන් විසින් තමන්ගේ කූඩු තීන්දු කරගන්නවා.

මේක තව ලෙවල් එකකට යන්නේ දේශපාලනය හා විද්‍යාව වගේ දේවල් ඔලුවට යන කොට. මාක්ස්වාදියා, ධනවාදියා, ලිබරල්වාදියා, දේශීය වාදියා, යනාදී දේශපාලන කූඩුත් ඉදි වෙනවා.

වෙන විදිහකට කිව්වොත් තමන්ගේ කූඩුවට වෙලා ඉන්න අපේ රටේ අය වැඩිපුර ආසයි. උදාහරණයකට මම ඉගෙන ගත්ත ඉස්කෝලෙන් එකට උසස් පෙළ කල සිසුන් අතරින් කටටියක්‌ එක විශ්ව විද්‍යාලයකටත් අනික් අය තවත් එකකටත් ගියා. ගිහින් වසරකට පසු නැවත හමු වුනාම පළමු විවී ගිය අය ප්‍රෝ රැගාලා. අනික් ඒකට ගිය අය ඇන්ටි රැගාල. මේ විවි දෙකේම රැගින් තිබ්බා. ඉතින් මේ ගැන හොයා බැලුවම, පළමු විවියේ අපේ පැත්තෙන් එන උන්ගේ ගැට්ට ප්‍රෝ රැග්. අනිකේ අපේ පැත්තේ උන් ඇන්ටි රැග්.

මීට අමතරව කැපුවත් කොළ/නිල්, රතු තොප්පි වගේ ඒවා සමහර විට පවුල් පරිසරයෙනුත් කාන්දු වෙනවා.

මම "අපේ රටේ" කියා කිව්වේ අපේ මිනිසුන්ගේ මේ ගති වැඩි නිසා. මට හමු වුන පිටරැටියන් ගත්තොත් උන් මෙච්චර කූඩු වලට දාන්න බැහැ. එක දෙයකදී එක කූඩුවක ඉන්න එකා තව එකකට තවත් එකක.

මෙහෙම කූඩුවක ඉඳගෙන හිතන කොට හරි ලෙහෙසියි. ආරක්ෂාව ලැබෙනවා. අනතුරක් වුනොත් කූඩුවේ අනිකුත් වැසියන් ඉන්නවා බේර ගන්න. ඒ නිසා මේක ලෙහෙසි වැඩක්.

එහෙත් මේක 100% අවංක වැඩක් නොවේ. තම හර්ද සාක්ෂියට එකඟ නොවෙන දේට පවා සහබාගි වෙන්න වෙනවා තමන්ට කූඩුව වෙනුවෙන්. මේ කූඩුවේ ඉන්න අනිකුත් අය රකින්න වෙනවා. හරි දේ වෙනුවට වෙන්නේ කූඩුවක් දිනීම. තමන් වැරදි දෙයක් දැක්කත් පෙන්නන්නේ නැතුව ඉන්නවා මොකද ඕක පෙන්නොවොත් අරුන් දිනලා අපේ කරෙත් නගින නිසා. දෙයක් කිව්වම කරුණු හොයන්නේ ඔප්පු කල යුත්ත සාක්කුවේ තියාගෙනයි. සංවාද වලට වඩා විවාද බහුල වන්නේ මේ හේතුව නිසාවෙන්.

දේශපාලන ලෝකයත් එහෙමයි. එක්කෝ ධනවාදය, නැතිනම් සමාජවාදය, නැතිනම් ජාතිකවාදය හෝ ලිබරල්වාදය දිනන තුරු රටකට යහපතක් වෙන්නේ නැහැ.
සැලසුම්  හැදෙන්න ඕනේ මේ ඔක්කොම එකතු කර සුදුසු තැනට සුදුසු සංකල්පය යොදාගනිමින්. අන්න එහෙම යන එක සැලසුමක්, එවැනි තවත් සැලසුමක් එක්ක කූඩු-වාදී නොවන පරිදි සංසන්දනය කර දෙන චන්ද වලින් රටේ අනාගතය තීන්දු වෙනවා නම් රටකට ලෙහෙසියෙන් දියුණු වෙන්න පුළුවන්.

ඒත් අපි කරන්නේ මෙන්න මේ කූඩුවට වෙලා, උගුරට හොරා බෙහෙත් කමින්, වරද පෙනී පෙනීත් නොපෙන්නා කූඩුවේ මායිම බේර ගන්න එක. කවුරුහරි මෙහෙම කූඩුවකට කොටු වෙලා නැතිනම් ඔහුව බලෙන්ම එකකට ගාල් කරන එක. තියෙන එකකට බැරිම නම් ඔහුට වෙනම කූඩුවක් හදලා දෙන එක.

යටින්ම බැලුවොත් මේක මතවාදී වහල් කමක ශේෂයක්.