Saturday, April 13, 2013

මොලය ද මනස ද ආත්මය ද?

මොලය ද මනස ද ආත්මය ද කියන සංවාදය ළඟදී ඉස්මතු වූයේ දොරමඩලාවේය. අදාළ පැය කීපය තුල ගතයුතු යමක් සාකච්චා වූයේද යන්න මට ද ප්‍රශ්නයක් නිසා මේ එම වැඩ සටහනට පිළිතුරක් නොවේ. දොරමඩලාව ගැන මගේ අදහස මෙතනින් බලා ගත හැක. මෙය එම වැඩසටහන ගැන නොව ඔවුන් හරියට ග්‍රහණය නොකළ එම මාතෘකාව ගැන ලියවෙන මගේ මතයයි.

ඇත්තෙන්ම මේ මාතෘකාව වෙනස් කරන්නට කැමැත්තෙමි. මොළය යන්න අදහස පටු කරයි. ජීවීන්ගේ නියුරෝන සිරුර පුරා විසිර පවතියි, මොලය යනු එහි වැඩි ප්‍රමාණයක් තියෙන තැනකි. මාතෘකාව වනුයේ මානවයා [ජීවියා] ලෙස අප දකින්නේ හුදෙක් නියුරෝන පද්ධතියේ ක්‍රියාකාරිත්වයක් ද නැතහොත් ඉන් පරිබාහිර යමක් තිබේ ද යන්නයි.

මාතෘකාව ස්වාභාවයෙන් ම ආගමික ස්වරූපයක් ගනියි. භෞතික පරිසරයෙන් ස්වායත්ත ආධ්‍යාත්මික යමක් ඇති බව කියන ආත්ම වාද හා එවැන්නක් නොමැති බව කියන වෙනත් වාද [අනාත්ම වාද ඇතුළුව] ලොව පුරා හට ගත්තේය. මේවා බොහෝ විට ආගමික පර්යේෂණ තුලින් ආ සංකල්ප වේ. මානව ජීව විද්‍යාව ගැඹුරට හදාරා ඒ තුලින් නිගමන වලට ආවේද එසේ නැතිනම් හුදෙක් දාර්ශනික චින්තාව තුලින් මේ තීරණ ගත්තේද යන්න අපැහැදිලි වේ.

කෙසේ වෙතත් සමහරු කියන්නේ නියුරෝන ඇතුළු භෞතික සිරුර ඉක්මවන ආත්මීය ස්වභාවයක් ඇති බවයි. එය සිරුරකට ඇතුළු වී අප නිර්මාණය වේ. එම නිසා මනුෂ්‍යයා යනු අදාළ ආත්මය විනා එයට සෙවන දෙන සිරුර නොවේ. මේ සංකල්පය සරලය. ජීවය නම් වූ සංකීර්ණ ක්‍රියාවලියේ සැබෑ සංකීර්ණතා නොදකින විටෙක ජීවියා ක්‍රියාත්මක වන්නට මෙවැන්නක් අවශ්‍ය බව කෙනෙකුට සිතෙන්නට පිළිවන. නූගත් ගෝත්‍රිකයෙකුට ස්ව්‍යන්ක්‍රිය යන්ත්‍රයක් පෙන්නුවොත් ඔහු එම ක්‍රියාකාරිත්වය මෙහෙයවන භූතාත්මයක් සිටින්නේයයි සිතනු ඇත. මනස හා ආත්මය සිරුරින් ස්වායත්ත වෙනම ක්‍රියාවලියක් ලෙස ගන්න මේ මතය සමීප වන්නේ එවැනි තත්වයකටයි.

විද්‍යාවේ දියුණුවත් සමග අපි බොහෝ දේ උගත්තෙමු. අද අප දන්නා පරිදි නියුරෝන නම් සෛල බිලියන ගණනක් මිනිසෙකු තුල පවතියි. එම ඕනෑම නියුරෝනයක් තවත් එවැනි නියුරෝන දහස් ගණනක් සමග සම්බන්ධ විය හැක. මෙම සම්බන්ධතා රසායනිකව යෙදෙන භාරයකින් අඩු වැඩි කරයි. එනයින් මෙලෙස ඇතිවිය හැකි මුළු සම්බන්ධතා සංකරන ගණන නියත ලෙසම අප දන්නා විශාල ම සංඛ්‍යාව වනු ඇත. දහයේ පාදයෙන් ලිව්වොත් අඩුම ගානේ ඩිජිට්ස් දහස් ගණනක් වත් පවතිනු ඇත.

එක නියුරෝනයක් සලකා බැලුවොත් එය ක්‍රියාත්මක වන්නේ ඇනලොග් ඉන්පුට් එකකිනි. එනම් අනිකුත් නියුරෝන වලින් එන ප්‍රතිචාර කිසියම් භාරයකින් අඩු වැඩි කොට එකතු කර තනි අගයක් සාදා ගැනේ. මෙම අගය පරිගණක ලොජික් ගේට් මෙන් 1/0 ලෙස නොව ඕනෑම දශම ගණනක් පවතින ඉලක්කමක් ලෙස සැලකිය හැක. ඒ කියන්නේ ඕනෑම නියුරෝනයකට එක ඉන්පුට් සිග්නල් එකකින් මහා කතාවක් තේරුම ගත
 හැක. 4.5678... හෝ 2.7689... යනාදී ලෙසිනි. මෙන්න මේ ඇනලොග් සිග්නල් එක අනුව ඩිජිටල් හෙවත් 1/0 උත්තරයක් දීම නියුරෝනය සිදු කරයි. එහෙත් උත්තර දෙන වේගය පාලනය කිරීමෙන් උත්තරය ද 1/0 ඉක්මවන මට්ටමක් දක්වා වෙනස් කිරීමට එයට හැකිය. 

මේ මගේ අඩු දැනුමින් මෙම සංකීර්ණ ක්‍රියාවලිය වචන ගත කල උත්සාහයකි [අඩුපාඩු සකසන කෙනෙක් වෙතොත් උදක්ම ස්තුතිවන්ත වෙමි]

ගැටලුව එන්නේ දැන් ය. අර තරම් සංකරන ගණනක සර්කිට් හරහා මේ තරම් පුංචි ප්රෙසිෂන් එකක් සහිත සිග්නල් ගලා යයි. ඔබ අප දකින්නේ වර්තමාන පරිගණකයකට සිතා ගන්නවත් බැරි තරම් සංකීර්ණ වූ කොටින්ම සංසන්දනය පවා තේරුමක් නැති යාන්ත්‍රික ක්‍රියාවලියකි. මිනිසා ජීවත් වන දිගු ආයුකාලය තුල වැඩෙන මෙම පද්ධතිය තුල අප මෙතෙක් දන්නා සංකීර්ණම සංසිද්ධි සිදු විය හැක.

මිනිසා යනු හුදෙක් නියුරෝන ගොඩකි යන භෞතිකවාදී මතය බිහිවන්නේ මෙතැනිනි.

ඇත්තෙන්ම භෞතිකවාදයට මීට පෙර අතීතයක් හිමි වේ. ඉස්සර කීවේ ද්‍රව්‍යවාදය කියාය. ද්‍රව්‍යවාදී වුවත් කිසියම් ආධ්‍යාත්මයක් එක්ක ගලපන හේගල්,  හුදෙක් ද්‍රව්‍ය වල සකස්මෙන් මිනිසා සමාජය නිෂ්පාදනය හා ආර්ථිකය බිහිවන හැටි පහදන මාක්ස් මේ කතිකාව කලකට පෙර සිදු කළහ. පසුකාලීනව ද්‍රව්‍ය නොවන ශක්ති ප්‍රභේද සොයා ගත් පසු ද්‍රව්‍ය හා ශක්ති එකතුවක් හෙවත් භෞතිකයක් තුලින් මානවයා දැකීමට. සමහරු පෙළඹුණි. ඒ අනුව නියුරෝන විනා අන් කිසිවක් නොමැත. ඒ භෞතිකවාදයේ ජීවියා ගැන කරන පැහැදිලි කිරීමයි.

ප්‍රතිවාදී තර්කය හෙවත් ආත්මවාදය නගන මූලික පැනයට භෞතිකවාදය විසින් හරියට උත්තර දී නැත. ආත්මවාදය කියන්නේ ආත්මය විසින් මෙම භෞතිකය මෙහෙයවන බවයි. ආත්මයක් නැතිනම් භෞතිකය මෙහෙයවෙන්නේ කෙසේදැයි මිනිසා නියුරෝන ගොඩක් පමණි කියන මතය ඉහත කරුණු තුල පැහැදිලි කර නොමැත. කියන්නේ මාර සංකීර්ණ බව පමණි.

පසු කාලීනව විද්‍යාත්මක පරිකල්පන දියුණු වන විට විද්‍යාව [හා අනිකුත් දැනුම් ක්ෂේත්‍ර] දුටු වෙනත් විශ්වීය ක්‍රියාවලින් විය. එවැනි එක සංකල්පයකි ඉමර්ජන්ස්. ඉමර්ජන්ස් යනු ලෝකයේ සුලබ සිදුවීමකි. කුඩා සරල ක්‍රියා මහා ගොඩක් දිගින් දිගටම සිදු වෙද්දී ඒ තුල මහා පරිමානයේ සංකීර්ණ පැටර්න් ඇතිවීමක් ලෙස මෙය ආසන්නව [විද්වත් මත වලට ඉඩ හරිමින්] පැහැදිලි කල හැකිය.

මෙන්න මෙහෙම දෙයක් නිකමට හිතන්න. ඉතා සරල කුඩා ක්‍රියාකාරකම් මහා ගොඩක් සිද්ද වෙන්න ගන්නවා. මට බඩගිනි වෙනවා. මම කඩෙන් පාන් බාගයක් ගන්නවා. ඔබට සින්දුවක් අහන්න විදිහක් නැහැ. ඔබ රේඩියෝවක් ගන්නවා. ගමරාල එළවලු කපනවා. අතිරික්තය පොලට දානවා. මෙන්න මෙහෙම මිලියන ගානක් මිනිස්සු දේවල් ගන්නවා විකුනනවා. සල්ලි එක්ක ගනුදෙනු. මේ සිද්ධි ලෝක ධර්මතා විසින් පාලනය කරනවා. ඉතාම "කෙට්ටු මනුස්සයෙක්" වන මම කන්නේ "හරිම අඩුවෙන්". ගමරාලට හැමදාම අස්වනු කපන්න බැහැ. ඔබේ රේඩියෝවේ තත්වය බාල වෙන්න කලක් ගත වෙනවා. ඒ කියන්නේ අපි ඉන්නේ සපුරා අහඹු ලෝකෙක නොවේ. මේ සිද්ධි පාලනය කරවන කිසියම් මූලික සීමා පවතිනවා. මෙන්න මේ සරල මිලට ගැනීම් හා විකිණීම් ගොඩ මිලියන ගානක් එව්වෝ කරගෙන යද්දී අපි ඕකට ආර්තිකය කියනවා.

ආර්ථිකය නේ. ඒකට වැඩක් තියේද මගේ පාන් බාගේ. මුදල් අමාත්යන්ශේ කටයුතු කරනේ මගේ පාන් බාගේ ගණන් කරලද? නැහැ. ආර්ථිකය උඩ ඉඳන් බැලුවම පැටර්න් ගොඩක්. යට වෙන සරල ක්‍රියා ගැන නොසොයා නොබලා කෙනෙකුට අවශ්‍ය නම් ආර්ථික සැලසුම් කරන්න ආර්ථිකය පාලනය කරන්න පුළුවන්. ආර්ථිකය ඉමර්ජන්ස් එකක්. ආර්ථිකය සිදුවන්නේ අපේ ක්‍රියාකාරකම් වලින් උනාට අපි නැතුව බැරි උනාට, ආර්ථිකයට වෙනම එක්සිස්ටන්ස් එකක් තියෙනවා. වෙනම මෙහෙයවිය හැකියි.

ඉමර්ජන්ස් එකක් වෙන හැටි සරල ක්‍රියා සිලියන ගණන [කිව්වේ ලොකු ගානක් කියන අදහස] වෙන වෙනම ගලපා පැහැදිලි කරන්න බැහැ. එය අඩුම ගානේ මානව අපේ චිත්ත හැකියාවෙන් පිටස්තරයි. එහෙත් ඒවායේ පැටර්න් දිහා බලලා සංකීර්ණ පද්ධතිය පමණක් සලකා එය පැහැදිලි කල හැකියි. මම හිටි ගමන් මලා කියා මගේ පාන් බාගේ අඩු වීම නොදැනුනා ට සුනාමියක් ඇවිත් "පාන් කන ජනතාව ගෙඩිය පිටින් සෙත්ත පෝච්චි උනොත්" ආර්ථිකයට පේනවා. පහල තියෙන කුඩා සරල ක්‍රියාකාරකම් ඉහල සංකීර්ණ සිස්ටම් එක බලන්නේ සංඛ්‍යාන හෙවත් ස්ටැටිස්ටික් කෝණයකින්.

[ඔන්න දැන් මේක දිග වැඩියි - මැරෙන්නද අප්පා. මම නොවේ ලෝකය මැව්වේ, මට දුන්න නම් මීට වඩා සිම්පල් මැවීමක් කරන්නේ - හරි තව ටිකයි]

මනසත් මෙන්න මෙහෙම ඉමර්ජන්ස් එකක්. මනස කියන ක්‍රියාවලියේ යටම මට්ටම හෙවත් නියුරෝන වල හැසිරීම සරලයි. අපිට කොලයක් අරගෙන ලියා ඉවර කල හැකියි. ඒවා බිලියන ගානක්, එකක් තව දහස් ගානක් එක්ක සම්බන්ධ වෙමින් අතිවිශාල ක්‍රියා ගණනක් කරනවා. මේවා පරිසරය විසින් තමන්ට ගැලපෙන ලෙස පරිනාමය කර ගන්නවා. ජාන හා මීම ලෙස මෙම පරිනාමික ලක්ෂණ ඉස්සරහට යනවා. ඉතින් මනස කියා දෙයක් හැදෙනවා මෙන්න මෙහෙම ගොඩ නැගෙන පැටර්න් වලින්.

භෞතිකවාදය හා ආත්මවාදය අතර ගැප් එක පියවෙන පැහැදිලිකිරීම ඕකයි. දැන් ඉතින් අපි කුමක් කරන්නද?

ආත්මවාදයට ඕනෙනම් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්න පුළුවන්. අපි කිව්වේ මෙකෑනිසම් එකයි. අපි කියන්නේ මනස ස්වයං සිද්ධ ක්‍රියාවක් ලෙස. හැබැයි ඔබට අවශ්‍ය නම් එහෙම ආත්මයකුත් ගාවා ගන්න. ආත්මයක් රිංගන්නේ නැහැ කියා අපි ඔප්පු කලේ නැහැ. අපි කිව්වේ නොතේරෙන කාලේ ආත්මයක් නැතුව පැහැදිලි කල නොහැකි ඒ ක්‍රියාව අපි මෙන්න ආත්මයක් නැතුව දැන් පැහැදිලි කරන බව පමණයි.

භෞතිකවාදය ඔබ විසින් නොකළ පැහැදිලි කිරීම මෙන්න. හැබැයි ඔබ මෙතෙක් නොදුටු පැතිකඩ වනුයේ ඉමර්ජන්ට් මනසකට වෙනම පැවැත්මක් තියෙන බවයි. එය හුදෙක් නියුරෝන වලම ඉමර්ජන්ට් ඉෆෙක්ට් එකක් උනත් එය එතුලින් පැහැදිලි කල හැකි පැටර්න් ගොඩක්. එයට ගරු කරන්න.

දැන් එතකොට මිනිසා යනු නියුරෝන ද නැතිනම් මනස ද? මනස හෙවත් මේ නියුරෝන වල ඉමර්ජන්ට් ඉෆෙක්ට් එක තමා ජීවියා කියන තනි එකාගේ ලෝක නියෝජනය. හැබැයි ඒක නියුරෝන බිලියන ගානක සරල ක්‍රියා සිලියන ගානක ප්‍රතිපලයක්.

වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙනවා පස් කන්දක් මනක්කන්ද කියලා. දැන් මේක කන්දක් ද පස් ගොඩක් ද?