Thursday, August 22, 2013

සත්ව මිනිසා සහ දේව මිනිසා

සමාජය කියන්නේ මිනිසාගේ නිර්මාණයක්. එහි අයිඩියල් දේවල් නැහැ. එහි තියෙන්නේ මිනිසා විසින් හදා ගත්තු දේවල්. හොඳ නරක මිශ්‍රිත. පරිනාමිකව ගත්තම මිනිස්සු කියන්නේ සත්තු. පරිපූර්ණ ජීවී විශේෂයක් නොවේ.

එහෙත් මිනිස්සු හිතන්නේ සියල්ල නිමවන්නේ දෙවියන් කියා. දෙවියන් කියන නිර්මානාත්මක සංකල්පය අපේ නෝම් තීරණය කරන්න අපි යොදා ගන්නවා. මේ ඇදහීම නිසා බොහෝ මිනිස්සු තම මනක්කල්පිත දෙවියන්ගේ ස්වරූපයක් තමන් තුල ඉන්නවා කියා හිතනවා.

ඒ දේව මිනිසාට අනුව ලෝකයේ හරි වැරැද්ද මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මෙහෙම නොවීම මාර වැරදියි කියා තමන් තීන්දු කරගෙන ඉන්නේ.

ගැටලුව තියෙන්නේ ඇත්තෙන්ම ඉන්නේ සත්ව මිනිසා පමණයි. ඒ නිසා ප්‍රායෝගික ලෝකය දැක්කම දේව මිනිසාගේ නෝම් වලින් හිතන අයට විසංවාදයක් ඇති වෙනවා.

මේ විසංවාදය හිතට වද දෙන කොට ඒ වදයෙන් ගැලවෙන්න ඔවුන් විවිධ ක්‍රම සොයා ගන්නවා. බලන්න සමහර මිනිස්සුන්ට හරියට සල්ලි තියෙනවා. අනිත් අයට නැහැ. අපි මේ ලෝකය වෙනස් කරලා ඔක්කොගෙම ආදායම් සමාන කරමු. ඔන්න ඔය වගේ දේවල් මිනිසුන්ගේ හිත් වලට එන්නේ එහෙමයි. ලෝකය/ශිෂ්ටාචාරය කියන සත්ව මිනිසාගේ ප්‍රායෝගික නිර්මාණය විසින් දේව මිනිසාගේ සිතේ ඇති කරන දුක්බර හැගීම් සමනය කර ගන්නා හැටි.

සියලු යුතෝපිය චින්තනයට හේතුව මේ මවා ගත්තු දෙවියන්ගේ අවතාරයයි. සියලු යුතෝපිය චින්තන වල සාර්ථකත්වයට මේ දේව මිනිසා අතිශයින් අවශ්‍යයි. සත්ව මිනිසා එක්ක බැහැ ඒවා කරන්න.

දෙවියන් නැහැ කියා හිතුවට බොහෝ දෙනෙක් දෙවියන්ගෙන් ව්‍යුත්පන්න වන දේව මිනිසා හදා ගන්න තමයි දඟලන්නේ. සත්ව මිනිසා ඒ ලෙසට බාරගෙන වඩාත් පරිනාමිකව උසස් ජීවියෙක් කර ගන්න කාටවත් උවමනාවක් නැහැ. හෙවත් සමාජයේ වැරදි ඇති ලෙසට පිළිගෙන ඒවා හැකි තරම් යහපත් කර ගන්න ඕනේ නැහැ. සමාජයේ වැරදි නිසා තමන්ගේ යුතොපියා ෆැන්ටසියේ හිතෙන් ජීවත් වීමේ ගංජා ආතල් එක ඊට වඩා ආකර්ශනීයයි.