Friday, May 29, 2015

මරිමෝඩ හන්දියක සැඟවුණු යතාර්ථය

No traffic lights no accidents යන මාතෘකාව යටතේ අන්තර්ජාලයේ වයිරල් වන වීඩියෝවක් තියෙනවා. ඒ වීඩියෝව අලළා අදහස් පළකරන ඇතැමුන්, මෙහි ට්‍රැෆික් ලයිට් හෝ පොලිස් නිලධාරින් උන්නා නම් ඔය තරම් හොඳට වාහන ගමන් නොකරනු ඇතැයි කියා කියනවා . එනයින් රටේ පාලකයින්, නීතිය, නීති ක්‍රියාත්මක කරන රාමුව නැතුව මිනිසුන්ට ඔහේ අරාජික ලෙස පවතින්න දෙන්නේ නම් ලෝකය සුන්දර වන බවට මතයක් සමහරුන්ගෙන් එලියට එනවා.

අරාජිකත්වය කියන දිග මාතෘකාව එකවර ග්‍රහනය කරන්නට බ්ලොග් පෝස්ට් එකකින් අමාරුයි. එහෙත් ට්‍රැෆික් ලයිට් නැති හන්දියේ සත්‍ය කතාවත් ඒකෙන් අප දකින අරාජිකත්වයේ උදාහරණයේ නරුම රියලිටියක් පමණක් කතාවට ගන්න ඉඩක් මෙතනින් විවර වෙනවා

මේක විහිළුවට ශෙයා කරන අය ගැන නොවේ මම ඉලක්ක කරන්නේ මේ වගේ එව්වයෙන් සීරියස් දේශපාලන මතයක් දෙන්න හදන අයව. ඇත්තෙන්ම ආරම්භයේදී මෙය එතරම් සීරියස් කතාවක් ලෙස නොසිතන්නට පෙළඹුණේ මෙවැනි මරිමෝඩ හන්දියක් දිහා බලලා හුරේ අරාජිකත්වයට ජයවේවා කියන මිනිස්සු හරියටම උතුරු කොරියාව දිහා බලලා මාක්ස්වාදයට ජයවේවා කියන එකාලා වගේම නිසා. ඒත් මේක ටිකක් සීරියස් යන බවක් පෙනෙනවා.

අපි හන්දියට බහිමු.





මේ අඩිස් අබාබා නගරයේ මෙස්කල් හෙවත් කුරුස චතුරශ්‍රයයි. වසර එක්දාස්හයසීයක් පරණ ඉතිහාසයක් තියෙන බව කියවෙනවා. චතුරශ්‍රය ආශ්‍රිත හන්දියේ විශේෂත්වය නම් කිසිම ගයිඩන්ස් එකක් නැති එක. ඒ බව මේ වීඩියෝවේ පෙන්වනවා.

වීඩියෝවේ නොපෙන්වන්නේ මේක කෙතරම් මාරක හන්දියක් ද කියන එක. ඔය රෙකෝඩ් කල විනාඩි කීපෙට වාහන හැප්පි නොහැප්පි බේරිලා ගියාට වසරකට මාරක අනතුරු අතිවිශාල ප්‍රමාණයක් වෙන හන්දියක්. 2004-2006 සමයේ අනතුරු 237ක්. මිලියන ගානක් ඉන්න අඩිස් අබාබා නගරයෙ මුළු අනතුරු වලින් 8% කට මේ තනි හන්දිය වග කියනවා. මෙතනින් පාර පනින්න ගිහින් වාහන වලට යටවෙන ප්‍රමාණය විශාල ගානක්. මෙන්න මෙතනින් බලාගන්න හන්දියේ කැරට්ටුව

ඔන්න ඕක තමා අරාජිකත්වයේ සත්‍ය මුහුණුවරත්. න්‍යාය අනුව අරාජිකත්වය මාරයි. They all lived happily ever after කියලා උපකල්පනය කලොත්. එහෙත් ඒ සියලු කතන්දර උදාහරණ මේ වීඩියෝව වගේ සත්‍යයේ තෝරාගත් වාසිසහගත මොහොතක් පමණයි. සත්‍යය මුළුමනින් ගත්තොත් බිහිවන්නේ මාරාන්තික අනීතික ලෝකයක්.

ඔය යුතොපීය දර්ශන රාශියක පොදු දුර්වලකමක්. ඒ මත දරන මිනිස්සු සමස්තයන් බැහැර කරලා තැනක දෙකක පාලිත තත්ත්ව යටතේ කෙරෙන පරීක්ෂණයක් පෙන්නලා ලෝකෙට කියනවා මෙහෙම කරනන ඔක්කොම හරියාවි කියලා. එහෙත්  ඒ  භුමියේ  සත්‍යය  ගැන  නිසි  අධ්‍යනයකින්  නොවේ.  සිහිනෙන්  ඇවිදීමක්  පමණයි.

මෙස්කල් හන්දියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් එකක් අවශ්‍යයි කියන මූලික සත්‍යයට පිටුපාලා ඕනෑතරම් සෙල්ලම් කරන්න තමන් රවටා ගන්න ඔබට නිදහස තියෙනවා. එහෙත් හන්දියට "බැහැලා බැලුවම" තේරෙයි මේ වගේ ස්ථාන වලට නීතියක්, පාලනයක්, යාමනයක්, යාමනය කළහැකි යාන්ත්‍රණයක් අවශ්‍ය බව.

3 comments:

  1. ලැබෙන ඕනම අවස්ථාවක්, සිද්ධියක් හරි යොදාගෙන තමාගේ දේශපාලන හෝ (නිර්)ආගමික මතවාද ඔප්පු කරන්න හදන එක හැමදාම දකින්න ලැබෙන්න දෙයක්. අපි හැමෝම ඕක අඩු වැඩි වශයෙන් කරනවා. මේ වගේ උදාහරණ වල තියෙන ප්‍රශ්නෙ තමා එක අවස්ථාවක් අරන්ගෙන හැම වෙලාවටම සුදුසු යැයි හැඟෙන විදිහට පොදු තියරි ඉදිරිපත් කරන්න හදන එක. ඒත් තෝරාගත් උදාහරණ පොදුවේ තියරි ලෙස යොදා ගැනීමට උදාහරණ ලෙස යොදාගැනීම තේරුමක් නැති අසාර්ථක වැඩක්.

    ReplyDelete
    Replies
    1. //ඒත් තෝරාගත් උදාහරණ පොදුවේ තියරි ලෙස යොදා ගැනීමට *සාක්ෂි* ලෙස යොදාගැනීම තේරුමක් නැති අසාර්ථක වැඩක්.//

      ලෙස නිවැරදි විය යුතුයි

      Delete
    2. අනික සමහරු ඉතාම පැහැදිලි සත්‍යය නොදක ෆැන්ටසියට අහුවෙනවා. මෙස්කල් හන්දියේ වීඩියෝව දකින ඕනෑම කෙනෙකුට තේරෙන්න ඕනේ මේක බොහොම අමාරුවෙන් බේරිලා යන තැනක් බව. තව ටිකක් එහෙ මෙහෙ වුනානම් හැප්පෙන බව. ඒක නොවැටහෙන එක පුදුමයට කරුණක්.

      ස්තුතියි ආවාට බණ්ඩා

      Delete